අපගේ සංස්කෘතික හර පද්ධතින්, සිරිත් විරිත් හා සම්ප්‍රදායන් කිසිවිටෙක කිසිදු බලවේගයකට යටත් නොකළ යුතු බව ජනාධිපතිතුමා පවසයි.

අපගේ සංස්කෘතියට හා සම්ප්‍රදායට ගරු කරන සහ ලෝකය ජයගත හැකි උගත් තරුණ පරපුරක් රට තුළ බිහිවිය යුතු බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ හේනේගම මධ්‍ය විද්‍යාලයේ 75 වන සංවත්සර උලෙළට සහ ත්‍යාග ප්‍රදානෝත්සවයට අද (26) පස්වරුවේ එක්වෙමිනි.

විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගත්හ.

සිසු දරුවන් ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ අප අධ්‍යාපනය ලැබිය යුත්තේ රැකියාවක් ඉලක්ක කර ගනිමින් පමණක් නොව ලෝකය සහ සමාජය වෙනස් කිරීම වෙනුවෙන් බවය. මෘත භූමියේ කීර්තිය දසත පැතිරිය හැකි උගත් දරු පරපුරක් රට තුළ ගොඩනැඟිය යුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

1944 වසරේදී ආරම්භ කළ හේනේගම මධ්‍ය විද්‍යාලය, මධ්‍ය විද්‍යාල සංකල්පය යටතේ මෙරට බිහිවූ 11 වන මධ්‍ය විද්‍යාලයයි. මේ වන විට සිසුන් 3200කට ආසන්න පිරිසක් විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර විද්‍යා, කලා, වාණිජ සහ තාක්ෂණ විෂය ධාරාව යටතේ අධ්‍යාපන කටයුතු සිදු කෙරේ.

හේනේගම මධ්‍ය විද්‍යාලය ජාතික පාසලක් බවට පත්කරන ලෙස කරන ලද ඉල්ලීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිතුමා කියා සිටියේ ඒ පිළිබඳ අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බවයි.

විද්‍යාලයේ විශිෂ්ඨතා දැක්වූ සිසුන්ට තිළිණ සහ සහතිකපත් ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

විදුහල්පති විජය සත්‍යජිත් කුලරත්න මහතා විසින් ජනාධිපතිතුමා වෙත ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.
ලසන්ත අලගියවන්න, උපාලි ගුණරත්න, චන්දන ජයකොඩි යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් ද විදුහල්පති, ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

හේනේගම මධ්‍ය විද්‍යාලයේ 75 වන සංවත්සර උලෙළට සහ ත්‍යාග ප‍්‍රදානෝත්සවයට සහභාගිවෙමින් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව – 2019.03.26 වන දින හේනේගම මධ්‍ය විද්‍යාලයේ දී

මා මිත‍්‍ර ලසන්ත අලගියවන්න මැතිතුමා මට කරන ලද ආරාධනයක් අනුව මේ ආදරණීය දරුවන් දකින්න ඔබේ පාසලට පැමිණීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.

හේනේගම මධ්‍ය විද්‍යාලය පිළිබඳව මා දන්නේ දීර්ඝ කාලයක සිටයි. ඒ වෙන හේතුවක් නිසා නොවෙයි. විදුහල්පතිතුමා එතුමාගේ කතාවේ සඳහන් කළ ආකාරයට මම මේ දිස්ත‍්‍රික්කයේ උපන් කෙනෙක් විදියට ගම්පහ දිස්ත‍්‍රික්කය සමග මගේ තිබෙන සම්බන්ධතාව හේතු කොට ගෙන මේ දිස්ත‍්‍රික්කයේ විවිධ ආයතන සමග දීර්ඝ කාලයක සිට අවබෝධයක් මට තිබෙනවා. ඒ සමග ම හෙනේගම මධ්‍ය විද්‍යාලය පිළිබඳ ව මගේ මතක සටහන් රාශියක් තිබෙනවා.

1944 ආරම්භ වූ ඔබේ පාසල නිදහස් අධ්‍යාපනයේ පියාණන් වූ සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමාගේ මධ්‍ය විද්‍යාල සංකල්පය යටතේ බිහි වූ පාසලක්. ඒ පාසැල් 50 ට අයත් නොවුණත් මමත් මධ්‍ය විද්‍යාලයක ශිෂ්‍යයෙක් විදියට ඔබ හමුවීමට ලැබීම පිළිබඳ ව මා ඉතාමත් සතුටු වෙනවා.

විභාගවලින් හොඳ ප‍්‍රතිඵල පෙන් වූ පාසලක් ඔබේ පාසල. ඒවගේම ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් පැත්තෙන් බැලුවොත් ක‍්‍රීඩා, සංස්කෘතික ආදි ක්ෂේත‍්‍රවලින් විශේෂ දක්ෂතා, හැකියාවන් පෙන්නුම් කළ දරුවන් බිහි කළ පාසලක්. ලෝකය ජයගත් දරුවන් බිහිකළ පාසලක් ඔබේ පාසල. ඒ නිසා ඔබේ පාසල මේ රටේ ගෞරවනීය වූත් කීර්තිමත් පාසලක් විදියට කාගේත් පිළිගැනීමක් තිබෙනවා.

අද ඔබ සමරන්නේ ඔබේ පාසලේ 75 වන සංවත්සරය. මීට වසර 75 කට පෙර තිබුණු සමාජයේ සංස්කෘතිය, සමාජ ආකල්ප, අදහස් සිතුම් පැතුම් අද වන විට මොනතරම් වෙනස් වෙලා ද? අද වන විට මොනතරම් පරිවර්තනයකට ලක් වෙලා ද? ඒ වෙනස්කම සිදුවී ඇත්තේ හේනේගම මධ්‍ය විද්‍යාලයේ පමණක් නොවෙයි. ඒ වෙනස්වීම් සිදුවී ඇත්තේ ගම්පහ දිස්ත‍්‍රික්කයේ පමණක් නොවෙයි. ඒ වෙනස්වීම් සිදුවී ඇත්තේ අපේ මාතෘභූමියේ පමණක් නොවෙයි. ඒ වෙනස්වීම් ලෝකය පුරා සිදුවී තිබෙනවා. වසර 75 කට පෙර ලොව අනිකුත් රටවල් තිබුණේ කොතන ද? ඒ සමගම සිදුව ඇති වෙනස්කම් මොනව ද? අපේ රටේ වගේම ලෝකයේ විද්‍යාව, තාක්ෂණය, කලාව, සංස්කෘතිය වැනි විෂය ක්ෂේත‍්‍රවල මොනතරම් පරිවර්තනයන් සිදුවී තිබෙනව ද? ඒ වගේම අදත් තත්ත්පරයෙන් තත්ත්පරය පැයෙන් පැය දවසින් දවස විද්‍යාව, තාක්ෂණය, සෞඛ්‍ය, අධ්‍යාපනය ලෝකය මොනතරම් වෙනස් වෙනවා ද? ඒ වෙනස්කම් තුළ මිනිසාගේ සිදුවී ඇති වෙනස්කම් මොනවද? වසර 75 කට පෙර ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමය එදා අධ්‍යාපනයේ තිබුණු පදනම, වසර 75 ක් තුළ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ සිදුවුණු වෙනස්කම් පරිවර්තනයන් විප්ලවීය වෙනස්කම් අපට කොතරම් නම් කතා කරන්න පුළුවන්ද? ලෝකයේ රටවල කරුණු දෙකක් නිසා ලංකාවට විශාල ගෞරවයක් තිබෙනවා. එක් කාරණයක් තමයි මේ රටේ නිදහස් අධ්‍යාපනය. අනිත් කාරණය මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව. අපේ නිදහස් අධ්‍යාපනයේ තිබෙන ගුණාත්මකභාවය උසස් ප‍්‍රමිතිය පිළිබඳව ලෝකයේ විශාල පිළිගැනීමක් තිබෙනවා. අපේ රට උගතුන්ගෙන් කිසි අඩුවක් නැති රටක්. උගතුන්ගෙන් අඩුවක් නොමැති රටක් වුවත් තව තවත් උගතුන් බිහි කිරීම අවශ්‍යය යි. ජාතියක අනාගතය පවතින්නේ ජාතියක් බැබැළෙන්නේ උගතුන් වැඩි වෙන්න වැඩි වෙන්නයි. සමාජ සාධාරණත්වය, විනීත බව, යුක්තිගරුක බව සපිරි සමාජයක් කියන්නේ උගතුන්ගෙන් සපිරි සමාජයක්.

අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ ප‍්‍රතිඵලයක් විදියට ජාතික වශයෙන් පමණක් නොවෙයි අන්තර්ජාතික වශයෙන් ලෝකයේ ඉහළම දියුණුවක් තිබෙන ඉහළම තාක්ෂණය තිබෙන ඉහළම ආර්ථිකය තිබෙන මහා ධනවත් රටවල විද්‍යාඥයින් විදියට පර්යේෂණ ආයතනවල මොනතරම් ශ‍්‍රී ලාංකිකයින් සිය දක්ෂකම් කුසලතාවයන් පෙන්වා තිබෙනවද? ඒ මගින් ඔවුන් මොනතරම් ගෞරවයක් අපේ මාතෘභූමියට ලබාදෙනවද? අධ්‍යාපනයේ පරමාර්ථය බොහෝ පුළුල්. ඔබ වයසින් වැඩි වෙන්න, වැඩි වෙන්න දැනුමින් වැඩි වෙන්න වැඩි වෙන්න, ඔබ පරිණත වෙන්න වෙන්න ඔබේ බුද්ධිය වර්ධනය වනවා. එවිට ඔබ ම තේරුම් ගන්නවා අධ්‍යාපනය කියන්නේ මහා කෙළවරක් නැති නොපෙනෙන සප්ත මහා සාගරයටත් වඩා පෙනෙන අකාසයටත් වඩා පරක් තෙරක් නොමැති මහා පුළුල් දෙයක් කියලා. ඒ නිසා ජීවිතයේ සියලු කටයුතුවල දි ඔබ ප‍්‍රමුඛත්වය දිය යුත්තේ අධ්‍යාපනයට. ඉගෙන ගන්න. විභාග පාස් කරන්න. අපේ දරුවෝ හරිම දක්ෂයි. නිදහස් අධ්‍යාපනයේ ඉතා හොඳ ප‍්‍රතිඵල අපිට ලැබිලා තිබෙනවා. නමුත් දරුවනේ අද තිබෙන වාණිජ සමාජය, තරගකාරි ලෝකය අපිව යටපත් කරගෙන යන විදේශීය සංස්කෘතීන්, විවිධ විදේශීය බලපෑම් අපේ අභිමානයට අභියෝගයක් වෙන අවස්ථා තිබෙනවා. අපේ සංස්කෘතික හර පද්ධතිය, අපේ සිරිත් විරිත්, අපේ සම්ප‍්‍රදායයන්, ඒ සියල්ල කිසිවිටකත් කිසිවකුට කිසියම් බලවේගයකට කිසිම විටක යටත් නොකළ යුතුයි. එහි තමයි සියලු වටිනාකම් තිබෙන්නේ. අපේ සිරිත් විරිත් සම්ප‍්‍රදායයන් එක් වී ගොඩනැඟුණු අපේ මහා සංස්කෘතිය සමග තමයි අපි වඩා උගතුන් විය යුත්තේ. ඒ උගත්කම සමග ලෝකය ජයගන්න සැමවිටම ඔබට හැකියාව තිබෙනවා. එය පරිවර්තනය කරන්න ඔබට හැකියාව තිබෙනවා.

ඒ නිසා විභාග සමත්වීම වගේම ජීවිතය සමත් වීම ඔබ දෑතට ගන්න ඕනෑ. විභාගය හොඳින් සමත් වෙලා ජීවිතය අසමත් වෙන බොහෝ අය ඉන්නවා. ඒ ජීවිතය සමත් වෙන්න සමාජයේ තිබෙන විවිධ අභියෝග තේරුම් ගත යුතු වෙනවා. විදුහල්පතිතුමා සඳහන් කළා මත්ද්‍රව්‍ය වැනි විවිධ සමාජ විරෝධී නීතිවිරෝධී ක‍්‍රියා බරපතළ අපරාධ මේ සියල්ලම සිදුවෙන්නේ මුදල් නිසා කියලා. මේ නිසා ඇතැම් මිනිසුන්ට මනුෂ්‍යත්වය අමතක වෙනවා. මනුෂ්‍යත්වය යටපත් කරමින් රුපියල් ශතවලට මිනිස්සු ආදරය කරන්න පටන් ගන්නවා. දරුවෝ අමතක වෙනවා. තමන්ගේ පවුල් සංස්ථාව අමතක වෙනවා. ඒ තරගකාරිත්වය තුළ තමන් නවතින්නේ කොතනද කියලා හිතන්නේ නැහැ. අවසානයේ මහා අගාධයකට වැටෙනවා.

ඔබේ ආදරනීය මව්වරු, පියවරු ඔබ පිළිබඳව මහත් අපේක්ෂා පෙරදැරි ව බලා සිටිනවා. ඔවුන් ඔබ පිළිබඳ ව සිතන විදිය ඔවුන් ඔබ වෙනුවෙන් කරන කැපකිරීම් ඔබ උදේ හවා මෙනෙහි කරන්නට ඕනෑ. ඔබේ ආදරණීය ගුරු මෑණිවරුන් ආදරණීය ගුරු පියවරුන් ඔබ වෙනුවෙන් කරන කැපකිරීම් කොතෙක් ද කියා ඔබ අවධානය යොමු කරන්නට ඕනෑ. ඔබේ මව් දෙමව්පියන් ගුරු දෙගුරුන් සැමවිට ම මේ සමාජ සංස්කෘතියේ විශිෂ්ට චරිත කියන එක ඔබ කිසිවිටකත් අමතක කරන්න එපා. ඒ විශිෂ්ටත්වය සමග ඔබේ ජීවිතය ආලෝකමත් කර ගන්න පුළුවන්. ගම්පහ දිස්ත‍්‍රික්කය අධ්‍යාපන ක්ෂේත‍්‍රයෙන් ඉතාමත් හොඳ ප‍්‍රතිඵල පෙන්වන දිස්ත‍්‍රික්කයක්.

මම ඊයේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ඉදිකළ ආසන 5000 ක ශ‍්‍රවණාගාරයක් විවෘත කළා. මම හිතන්නේ ඒවගේ ශ‍්‍රවණාගරයක් ලංකාවේ වෙන එක පාසලක වත් නැහැ. මම ඉගෙන ගත්තු පාසල වෙනුවෙන් යුතුකම් ඉටුකළ යුතුයි නෙ. ඒ පාසලේ දරුවෝ හාරදහස් ගණනක් දැන් ඉන්නවා. මම ඒ අවස්ථාවට මේ මහර මැතිවරණ කොට්ඨාසයේ පිහිටි කඩවත මහමායා විද්‍යාලයේ දරුවෝ අරන් ගියා. දැනට වසරකට පමණ පෙර එම විද්‍යාලයේ උත්සවයකට ගිය අවස්ථාවක ඒ දරුවන් සංස්කෘතිකාංගවලදි පෙන්නුම් කළ දක්ෂතා දැකලා ඒ දරුවන්ගේ දක්ෂතා පොළොන්නරුවේ දරුවන්ටත් දැක බලාගන්න මෙමගින් අවස්ථාව ලබා දුන්නා. ඒවගේම දැනට මාස තුනකට පමණ පෙර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ වාර්ෂික උත්සවයට එහි අධිපති අපේ හිටපු අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය මොහාන් ලාල් ගේ‍්‍රරු මැතිතුමා මට ආරාධනා කරලා තිබුණා. ඒ අවස්ථාවේ ඒ දරුවන් ඉතාම දක්ෂ විදියට සංස්කෘතිකාංග ඉදිරිපත් කළා. ඒ සංස්කෘතිකාංග දෙකකුත් කඩවත මහාමායා විද්‍යාලයේ දරුවන්ගේ සංස්කෘතික අංගයකුත් පොළොන්නරුවේ දරුවන්ට දැක බලා ගන්නා අවස්ථාව සලසලා දුන්නා. විශේෂයෙන්ම මම ඒ පොළොන්නරුවේ දරුවන්ටත් ගුරු මහත්ම මහත්මීන්ටත් ඒ සංස්කෘතිකාංගවල තිබෙන වෙනස්කම් පෙන්වන්න තමයි ඒ වැඩසටහනට ඉදිරිපත් කළේ.

අපේ රටේ පළාත් 09 ක් තිබෙනවා. මේ පළාත් 09 සංස්කෘතින් 09 ක්. ගාල්ල මාතර අය සිංහල කතා කරන විදියට නෙවෙයි ගම්පහ හේනේගම සිංහල කතා කරන්නේ. මෙහේ ගම්පහ කතා කරන විදියට නෙවෙයි මහනුවර ගම්පල සිංහල කතා කරන්නේ. අම්පාරේ දිගාමඩුල්ලේ මහ ඔය සිංහල කතා කරන්නේ. ඒ සියලූම පළාත්වල සිංහල කතා කරන විදියට නෙවෙයි ත‍්‍රිකුණාමලය, හොරොව්පතාන, පදවිය, සිරිපුර වගේ ප‍්‍රදේශවල කතා කරන්නේ. අපේ රට පුංචි රටක් වුණාට ලස්සන පින්වන්ත රටක්. සංස්කෘතින් ගණනාවක් අපිට හිමියි. විවිධ දක්ෂතා, හැකියාවන්, නිර්මාණශීලීභාවයන් තිබෙනවා. අපිට ආර්ථික වශයෙන් යම් යම් අභියෝග තිබෙනවා. වෙන යම් සමාජමය අභියෝග තිබෙනවා. ඒ සියල්ල සමග අප අපව හඳුනාගෙන අප කවුද කියා අප කෙරෙහි විශ්වාසය තබා සැමවිටම ජාතියක් විදියට ස්වශක්තියෙන් ගොඩනැෙඟන්නට ඕනෑ. ස්වශක්තියෙන් ගොඩනැඟෙන්න හේනේගම මධ්‍ය විද්‍යාලයේ මේ දරුවන්ටත් ආත්ම අභිමානයක් ආත්ම ශක්තියක් ආත්ම ධෛර්යයක් බලාපොරොත්තුවක් තිබෙන බව මා විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් මා ඔබට සුබ පතනවා.

විදුහල්පතිතුමාගේ කතාවෙදි අඩුපාඩු කිහිපයක් සම්බන්ධව සඳහන් කළා. ජාතික පාසලක් වෙලා තිබුණා නම් ඒ අඩුපාඩු සම්පූර්ණ වෙනවා කියලා විදුහල්පතිතුමා කිව්වා. මම සාමාන්‍යයෙන් පොරොන්දු දෙන කෙනෙක් නෙවෙයි. විදුහල්පතිතුමා එහෙම කියපුවහම ලසන්ත මැතිතුමත් මගේ කනට කරලා කිව්වා දැන් ජාතික පාසල් ආපහු දෙනවා නේද කියලා. මම ලසන්ත ඇමතිතුමාට කිව්වා එහෙමනම් අපි හේනේගම පාසලත් ජාතික පාසලක් කරන්න කටයුතු කරමු නේද කියලා. ඒ නිසා ඔබේ පාසල ඒ තත්ත්වයට පත් කරන්න අධ්‍යාපන අමාත්‍යාංශයට මගේ නිර්දේශය දීලා ඒ ඉල්ලීම ඉදිරිපත් කරන බව ප‍්‍රකාශ කරමින් ඔබ සියලූදෙනාටම වාසනාවන්ත ජීවිතයක් සඳහා ආශිර්වාද කරමින් ඔබෙන් සමුගන්නවා.

ස්තූතියි.

තෙරුවන් සරණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here