මත් උවදුර පිළිබඳ ප්‍රශ්නය රටේ සහ ජාතියේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක් බැවින් විවේචන පසෙකලා එම අභියෝගය ජය ගැනීමට සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ගාල්ල, රූමස්සල බොනවිස්ටා විද්‍යාලයේ පැවති උත්සවයකට අද (27) පෙරවරුවේ එක්වෙමිනි.

එදා අධිරාජ්‍යවාදින් සහ ම්ලෙච්ඡ ත්‍රස්තවාදය රටට කළ විනාශයට සමාන විනාශයක් අද නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රටට සිදුකරමින් සිටින බව ද ජනාධිපතිතුමා මෙහි දී පෙන්වා දුන්නේ ය.

මත් උවදුර පිටුදැකීමට කැපවන බවට සියලුදෙනා එක් ව දිවුරුම් දෙන බක්මහ දිවුරුම අප්‍රේල් 03 වන දා සියලු මැති ඇමතිවරුන්ගේ, රාජ්‍ය නිලධාරින්ගේ මෙන්ම පාසල් දරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන අතර එම දිවුරුමත් සමඟ මතට එරෙහි වැඩපිළිවෙළ නව ජවයකින් ක්‍රියාත්මක කිරීමට රට ම එක්විය යුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ගාල්ල, රූමස්සල බොනවිස්ටා විද්‍යාලයේ දෙසියවස් සැමරුම් උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ අභිමානවත් අයුරින් පැවැත්විණි.

විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගන්නා ලදී.

විද්‍යාලයේ ස්මාර්ටි පන්තිකාමරය වෙත ගිය ජනාධිපතිතුමා එහි සිසු ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට ද එක් විය.

දෙසියවස් සමරුව නිමිත්තෙන් ජනාධිපතිතුමා අතින් විද්‍යාල භූමියේ නා පැළයක් ද රෝපණය කෙරිණි.

ඉංග්‍රීසි ජාතිකයන් මිෂනාරි අධ්‍යාපනය මෙරට ස්ථාපිත කරමින් ගාල්ල නගරයේ බොනවිස්ටා ඉංග්‍රිසි පාඨශාලාව ලෙස නම් කරමින් ආරම්භ කළ මුල් ම පාසල බොනවිස්ටා විද්‍යාලයයි. හෙළයේ මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය සෙනරත් පරණවිතාන, ආණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක, කලාකීර්ති එඩිවින් ආරියදාස, මාලදිවයින හිටපු ජනාධිපති අබ්දුල් ගයුම්, සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න යන විද්වතුන් ඇතුළු කීර්තිමත් පුද්ගලයන් රැසක් විද්‍යාලය මගින් රටට දායාද කර තිබේ.

එම ආදි විද්‍යාර්ථයන් නමින් සිසු සිසුවියන් වෙත ස්වර්ණ මුදිත සම්මාන පිළිගැන්වීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

කලාකිර්ති එඩ්වින් ආරියදාස මහතා වෙත ජනාධිපතිතුමා අතින් සමරු තිළිණයක් පිළිගැන්විණි.

විදුහල්පති කේ. ගනේවත්ත මහතා මෙහිදී ජනාධිපතිතුමා වෙත ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන් වූ අතර, දෙසියවස් සමරු සංග්‍රහය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, පළාත් අමාත්‍යවරුන් වන චන්දිම රාසපුත්‍ර, විජයපාල හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් ද, විදුහල්පති, ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදිසිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here