ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධුරයෙන් පිදුම් ලද කෑගල්ල ඔලගන්කන්ද සාම විහාරාධිකාරි විශ්‍රාමලත් නියෝජ්‍ය පිරිවෙන් අධ්‍යක්ෂ හා හිටපු ප්‍රධාන පිරිවෙන් උපදේශක ශාස්ත්‍රපති පූජ්‍ය දීවෙල මහින්ද ස්වාමින්ද්‍රයාණන් වහන්සේ වෙත අක්තපත්‍ර පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් අද (24) පස්වරුවේ කෑගල්ල නගර සභා ශාලාවේ දී පැවැත්විණි.

උගත්, වියත් සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් ලෙස පූජ්‍ය දීවෙල මහින්ද ස්වාමින්ද්‍රයාණන් වහන්සේ සිදුකරන ශාසනික හා ආගමික මෙහෙවර අගයමින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කාරක පාලක සංඝ සභාව මගින් ,සිරි සීලවිමල ධම්මානන්ද වංසාවතංස සද්ධර්ම කීර්ති ශ්‍රී පටිපත්ති සෝභන, ගෞරව නාමය සහිතව රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධුරය උන්වහන්සේ වෙත පිළිගන්වා තිබේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපන පේමසිරි මහානායක ස්වාමින් වහන්සේ පුණ්‍යෝත්සවයේ මුලසුන හෙබවූහ.

අභිනව අනුනායක හිමිපාණන් වහන්සේ වෙත විජිණිපත පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරාධිපති ස්‍යාමෝපාලි වංශික මහානිකායේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි නායක ස්වාමින් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ නියෝජ්‍ය අධිකරණ ලේඛකාධිකාරි පූජ්‍ය හාල්පත්විල පාලිත නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, කථානායක කරූ ජයසුරිය, අමාත්‍ය කබීර් හෂීම්, සබරගමුව පළාත් ආණ්ඩුකාර ආචාර්ය ධම්ම දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන් සහ ප්‍රදේශයේ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

මේ අතර කෑගල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෙහෙයුම් කාර්යාලය අද (24) පස්වරුවේ විවෘත කෙරුණේ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලිපිටිය මහතා ඇතු`ථ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරිහු රැසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here