“ත්‍රිපිටකාභිවන්දනා” සතියට සමගාමිව ඉකුත් සතිය තුළ රටේ විශාල බෞද්ධාගමික ප්‍රබෝධයක් දක්නට ලැබුණු බව ජනාධිපතිතුමා පවසයි.

උතුම් ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමට පියවර ගත්තේ තවත් වසර දහස් ගණනාවක් එය සුරක්ෂිත කිරීම වෙනුවෙන් බව සඳහන් කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවාසීන් වන අපට ලෝකයට ලබාදිය හැකි උතුම්ම දායාදය වන ථෙරවාද බෞද්ධ දර්ශනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සහ එහි ආරක්ෂාව වෙනුවෙන් ගතහැකි සෑම පියවරක් ම ගන්නා බව ද ප්‍රකාශ කළේය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ ගිරිතලේ පුරාණගම ධර්ම විජයාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ “පූජ්‍ය ලියන්ගස්වගුරේ දේවානන්ද නාහිමි අනුස්මරණ ධර්ම ශාලාව සහ ශ්‍රවණාගාරය” විවෘත කිරීමේ පුණ්‍යෝත්සවයට අද (25) පස්වරුවේ එක්වෙමිනි.

විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා දහම් පාසල් සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් පිළිගත් අතර ජනාධිපතිතුමා ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කථා බහක නිරත විය.

අනතුරු ව සමරු ඵලකය නිරාවරණය කර පූජ්‍ය ලියන්ගස්වගුරේ දේවානන්ද නාහිමි අනුස්මරණ ධර්ම ශාලාව සහ ශ්‍රවණාගාරය විවෘත කරනු ලැබිය.

“පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රදේශයේ ක්‍රිඩා සමාජ 15 ක් සඳහා ක්‍රිඩා උපකරණ ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

එමෙන් ම “පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රදේශයේ අඩු අදායම්ලාභී පවුල් 08ක් වෙනුවෙන් ඉදිකළ නිවාසවල හිමිකම්පත් ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

පොළොන්නරුව පුරාණ ඉසිපතනාරාමාධිපති, නැගෙනහිර පොළොන්නරුව, තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය උඩගම ශ්‍රී ධම්මානන්ද නායක ස්වාමින් වහන්සේ, ගිරිතලේ ධර්මවිජයරාමාධිපති පූජ්‍ය ලියන්ගස්වගුරේ චන්ද්‍රජෝති නායක ස්වාමින් වහන්සේ, ගිරිතලේ අග්‍රබෝධි විහාරාධිපති පූජ්‍ය වරදිවල ධම්මාරාම නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන, නගරාධිපති චානක සිදත් රණසිංහ, හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී.ආර්. උඩවත්ත යන මහත්වරුන් ඇතු`ථ පිරිසක් ද ප්‍රදේශයේ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් ද පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

මේ අතර ගිරිතලේ ශ්‍රී අග්‍රබෝධි විහාරයේ අභිනව දහම්පාසල් සහ පුස්තකාල ගොඩනැඟිල්ල අද (25) පස්වරුවේ විවෘත කෙරුණේ ද ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතිනි.

එම විහාරස්ථානයේ දී ද දහම් පාසල් සිසුන් පිරිසක් විසින් ජනාධිපතිතුමා මහත් සෙනෙහසින් පිළිගත් අතර ඔවුන්ගේ දක්ෂතා දැක බලා ගැනීමට ද ජනාධිපතිතුමා එක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here