ජාත්‍යන්තරය හෝ වෙනත් කිසිවෙකු පවසන අන්දමට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෝ රටේ ස්වාධීනත්වයට හානි වන කිසිවක් සිදුකිරීමට තමා සූදානම් නොමැති බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ කළුතර, මීගහතැන්න ප්‍රදේශයේ පැවති උත්සවයකට අද (27) පෙරවරුවේ එක්වෙමිනි.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල ආරක්ෂක අංශ විසින් භාවිත කරන ලද ඉඩම් එම ජනතාව වෙත නැවත නිදහස් කිරීම සිදුවී නොමැති බවටත්, ඒ සඳහා කොමිසමක් පත්කළ යුතු බවටත් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය කර ඇති යෝජනාව රාජ්‍ය නොවන සංවිධාන විසින් ලබා දී ඇති වැරදි තොරතුරු පදනම් කරගෙන සිදුකරන ලද්දක් බව මෙහි දී ප්‍රකාශ කළ ජනාධිපතිතුමා එලෙස කොමිෂන් සභාවක් පත්කිරීමේ කිසිදු අවශ්‍යතාවක් මතු වී නොමැති බව ද සඳහන් කළේය.

මානව හිමිකම් කොමිසම නිකුත් කරන ප්‍රකාශවල ඇති හරි දේ පිළිගත්ත ද, එහි තිබෙන වැරදි කරුණු පිළිගැනීමට රජය කිසිසේත් සුදානම් නොමැති බව ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේය.

මේ අතර මානව හිමිකම් කොමිසම නිකුත් කර තිබෙන වාර්තාවේ සඳහන් පරිදි අප සම වගකීම් භාරගැනීමේ ප්‍රතිපත්තියකට ඉදිරි වසර දෙකකින් පසු එළැඹෙන බවට පසුගිය පෙබරවාරි 25 වනදා ජිනිවාහි සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා මානව හිමිකම් කොමිසම සමග සිදුකරන ලද අත්සන් තැබීම තමා කිසිසේත් පිළිනොගන්නා අතර එය දැඩිව ප්‍රතික්ෂේප කරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

එම අත්සන් තැබීම සිදුව ඇත්තේ තම අනුදැනුමකින් හෝ විදේශ කටයුතු අමාත්‍යාංශයේ හෝ එහි ලේකම්වරයාගේ අනුදැනුමකින් තොරව බවත් අපේ රටේම පාර්ශ්වවල වැරදි තීන්දු තීරණ හේතුවෙන් සිදුවූ එම සිදුවීම පිළිබඳ තම සම්පූර්ණ විරෝධය පළ කරන බවත් ජනාධිපතිතුමා පැවසීය. එමෙන්ම එම සිදුවීම තමා දකින්නේ මේ රටේ ත්‍රිවිධ හමුදාව රජය මෙන් ම ජනතාව පාවාදිමක් ලෙස බව සඳහන් කළ ජනාධිපතිතුමා රටේ විදේශ ප්‍රතිපත්තිය, ජාත්‍යන්තර සබඳතා සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ වගකීම ඇත්තේ ජනාධිපතිවරයාට මිස ඉන් පහළ අයට නොවන බව ද කියා සිටියේය.

ජීනිවා කොමිසමට යැවීමට නියමිතව තිබූ නියෝජිත පිරිස ද පත්කර තිබුණේ තමා සමග කිසිදු සාකච්ඡාවක් නොපවත්වා බව මෙහි දී සඳහන් කළ ජනාධිපතිතුමා පෙබරවාරි 25වන දා සිදුවීමෙන් පසු තමා විසින් එම නියෝජිත පිරිස වෙනස් කිරීමට කටයුතු කළ බවත්, විදේශ අමාත්‍යවරයා පසුගියදා එම කොමිසම හමුවේ කළ කතාව රටට ගැළපෙන ආකාරයෙන් සිදු කළ යුතු අන්දම පිළිබඳව ද තමා උපදෙස් ලබාදුන් බවත් ප්‍රකාශ කළේය.

එදා අප රටට එල්ල වූ අධිරාජ්‍යවාදි කුමන්ත්‍රණ අද ද වෙනස් ක්‍රමෝපායන් මගින් රටට එල්ලවීමට පටන්ගෙන තිබෙන බව මෙහිදී වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපතිතුමා අපට යහපත් විදේශ සබඳතා තිබිය යුතු නමුත් රටේ දේශපාලනයට සහ රාජ්‍ය පාලනයට එවා මැදිහත් නොවිය යුතු සේම, අද මෙන් ම හෙට දවසේ ද කිසිදු අවස්ථාවක විදේශ බලවේගවලට මේ රට පාලනය කිරීමට ඉඩ නොතබන බව අවධාරණය කළේය.

කළුතර, මීගහතැන්න නව පොලිස් ඒකකය ජනතා අයිතියට පවරාදීම නිමිත්තෙන් මෙම උත්සවය පැවැත්විණි. සමරු ඵලකය නිරාවරණය කර නව පොලිස් ඒකකය ජනතා අයිතියට පැවරූ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

මහින්ද සමරසිංහ, මහින්ද අමරවීර, පාලිත තෙවරප්පෙරුම, ගාමිණි තිලකසිරි, රංජිත් සෝමවංශ යන මහජන නියෝජිතයන් සහ කළුතර දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලදාරිහු ද පොලිස්පති පූජිත ජයසූන්දර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මීගහතැන්න පොලිස් ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිතුමා කළ කතාව 2019-03-27

මේ විවෘත කිරීමට අද දවසේ විනාඩි 45 ක් තමයි වෙන් කර තිබුණේ. උත්සව සභාවක් නැති විවෘත කිරීමක් මම යොදලා තිබුණේ. ඒ තත්ත්වය වෙනස්වීම නිසා ජනාධිපති ලේකම් කාර්යාලයේ දාලා තියෙන වැඩසටහන් පැය එක හමාර ගානේ පරක්කු වෙනවා. ඒ කෙසේ වෙතත් ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු ජනතාව සෑහෙන පිරිසක් මහා සංඝරත්නය ඇතුළු ඔබ මෙහි සිටින නිසා සුළු කාලයක් ඔබත් සමග ගත කරන්න හිතුවා.

පොලීසියේ සේවය පිළිබඳ වාද විවාද තිබෙනවා. පොලීසියට කියන්නේ මිත්‍රශීලි මහජන හිතකාමී පොලිස් සේවාවක් කියලා. එය සියයට අනූ නවයක්ම ඉටු කෙරෙනවා වගේම ඇතැම් වෙලාවට බලාපොරොත්තු නොවූ අවස්ථාවල ඒ ප්‍රතිපත්තියෙන් පිටපනින අවස්ථා ද තියෙනවා. නමුත් මේ රටේ තිබෙන රාජ්‍ය ආයතන, සංස්ථා, දෙපාර්තමේන්තු ගත්විට පොලීසිය කියන්නේ පැහැදිලි ස්ථාවර මහජන සම්බන්ධතාවයක් තිබෙන ආයතනයක්. පොලීසිය කියන්නේ හමුදාවක් නොවන බව ඔබ දන්නවා. පොලීසිය කියන්නේ රජයේ දෙපාර්තමේන්තුවක්. නමුත් ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡ ත්‍රස්තවාදය තිබුණු යුගය තුළ පොලීසියටත් සිද්ධ වුණා සාමාන්‍ය සිවිල් රාජකාරි පසෙකලා යුද්ධයට ප්‍රමුඛත්වය දීලා ත්‍රිවිධ හමුදාවත් එක්ක එකතුවෙලා ත්‍රස්තවාදය පරාජය කිරීමේ කටයුත්තට එක්වෙන්න.

වසර 30කට ආසන්න යුද්ධයේ පොලීසිය මුහුණ දුන් බරපතළ ඛේදවාචකය තමයි 80 දශකයේ අග භාගයේ නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරීන් 600 කට වැඩි පිරිසක් එකම රාත්‍රියක ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කළා. අද මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ගැන කතාකරන අය රාජ්‍ය නොවන සංවිධාන කතා කරන්නේ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය තුළ ප්‍රභාකරන්ට අහිමි වෙච්ච මානව හිමිකම් ගැන තමයි. මානව හිමිකම් ගැන කතාකරනවා නම් සියලු දෙනාගේ මානව හිමිකම් ගැන කතා කරන්න ඕනෑ. සත්‍ය ගවේෂණ කොමිෂන්, අතුරුදහන් වූවන්ගේ කොමිෂන්, මේ සියල්ල ජාත්‍යන්තරය හරහා පැමිණ තිබෙන්නේ අපිට සේවය කරන්නට නෙවෙයි මුහුදෙන් එගොඩ සිටින එල්ටීටීඊ සංවිධානවල තවමත් ක්‍රියාත්මක වන ජාත්‍යන්තර එල්ටීටීඊ ජාලයට සේවය කරන්නයි කියන එක මම පැහැදිලිව කියන්නට ඕනෑ. පහුගිය දිනවල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ රැස්වීම් කිහිපයක්ම තිබුණා ඔබ දැක්කා. මානව හිමිකම් කොමිසම අපි දෙන නිවැරදි තොරතුරු වගේම රාජ්‍ය නොවන සංවිධානවල වැරදි තොරතුරු පදනම් කරගෙන ප්‍රකාශ නිකුත් කරනු ලබනවා. මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත්කරන ප්‍රකාශවල තිබෙන හරි දේ පිළිගන්නවා වගේම එහි තිබෙන වැරදි දේ අපි රජයක් විදියට කිසිසේත්ම පිළිගන්නේ නැහැයි කියන කාරණයත් මම පැහැදිලිව කියන්න ඕනෑ. මානව හිමිකම් කොමසාරිස්තුමියගේ මෙවර වාර්තාවේ තිබෙනවා උතුරේ සහ නැගෙනහිර යුද්ධය පැවති ප්‍රදේශවල ආරක්ෂක හමුදාව විසින් සිය හමුදා කඳවුරු පවත්වාගෙන යාම සඳහා භාවිතයට ගන්නා ලද යුද්ධය පැවති ප්‍රදේශවල ජනතාවගේ ඉඩම් නිදහස් වෙලා නැහැ. ඒ නිසා ඒවා නිදහස් කරන්න ස්වාධීන කොමිෂන් සභාවක් පත් කරන්න කියලා. ඒ අදහස එතුමියට ප්‍රකාශ කරන්න හේතුවෙන්න ඇත්තේ රාජ්‍ය නොවන සංවිධාන විසින් දී ඇති ඉතාම වැරදි තොරතුරු නිසා කියලයි මම විශ්වාස කරන්නේ.

අපි ස්වාධීන කොමිෂන් සභා කිසිවක් පත් කරන්නේ නැහැ. කොහෙන්වත් කියන ඒවාට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඉඩක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිට කිසිම දෙයක් කරන්න අපි ලෑස්ති නැහැ.

විදේශ විනිසුරුවරුන් ගෙන්වන ප්‍රශ්නය මුල ඉදලම ඉදිරිපත් කළා. මම පසුගිය වසර කිහිපයේදී ම රට ඇතුළේ එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ත් මගේ කතාවලදී ත් මම කිව්වා විදේශීය විනිසුරුවරුන්ට මේ රටේ නඩු විභාග කරන්න දෙන්න මම සූදානම් නැහැ කියලා. ඒ වගේම කියන්නට ඕන පසුගිය පෙබරවාරි 25 වන දා මේ රජයේ ම පාර්ශව වල තිබෙන වැරදි තීන්දු තීරණ නිසා මානව හිමිකම් කොමිසමත් එක්ක මට නොදන්වා මා සමඟ කිසිදු සාකච්ඡාවක් නොමැතිව එකඟතාවයකට පැමිණ තිබෙනවා.

මානව හිමිකම් කොමිසම විසින් නිකුත් කර ඇති වාර්තා අප සම වගකීම් දරමින් අත්සන් කළේ මගේ කිසිදු අනුදැනුමක් නොමැතිවයි. එය මේ රටේ විදේශ කටයුතු අමාත්‍යාංශය දන්නේ නැහැ. විදේශ ලේකම්වරයා දන්නේ නැහැ. රටේ විදේශ ප්‍රතිපත්තිය, ජාත්‍යන්තර සබඳතා, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ වගකීම තිබෙන්නේ ජනාධිපතිවරයාට මිසක් ඉන් පහළ අයගේ නොවේ. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතාමත්ම පැහැදිළිව සඳහන් වෙනවා. ඒ නිසා මට හොරෙන්, විදේශ කටයුතු අමාත්‍යාංශයට හොරෙන් මානව හිමිකම් කොමිෂන් සභාව සමඟ පෙබරවාරි 25 වනදා ශ්‍රී ලංකා තානාපතිවරයා ජිනීවාහි දී කළ අත්සන් තැබීම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම මගේ විරෝධය පළකරනවා. ඒක ප්‍රතික්ෂේප කරනවා.

අපේ රටේ මෙහෙම තමයි මේ සිදුවීම් සිදුවන්නේ. නමුත් ඉන්පසුව ජිනීවා කොමිසමට යැවීමට නියමිතව තිබූ නියෝජිත පිරිස මම වෙනස් කළා. ඒත් නියෝජිත පිරිස හදාගෙන තිබුණේ මා සමඟ සාකච්ඡා නොකර, මට නොදන්වා. ඒ නිසා මම ඒ පිරිස වෙනස් කළා. විශේෂයෙන්ම රජයේ නිලධාරියෙක් නොවන කෙනෙක් සංහිඳියා කාර්යාංශයේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වශයෙන් ලිපියක් අත්සන් තබලා ජිනීවා තානාපතිවරයාට යවලා ඒ අනුව තමයි මේ පෙබරවාරි 25 වන දා මේ අත්සන් තැබීම කරනු ලැබුවේ. ඒක මම දකින්නේ මේ රටේ ත්‍රිවිධ හමුදාව පාවාදීමක් විදියටයි. මම එය දකින්නේ ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා ජනතාව පාවාදීමක් විදියටයි. මේවා රටේ ජනතාවට විවෘතව කියන්නට ඕන.

අපි රටක් විදියට වැඩ කරද්දි මේ රටේ ස්වාධීනත්වය තිබෙන්න ඕන. රජයක් විදියට අපේ රජයේ කටයුතු වලට නිදහස තියෙන්න ඕන. මේ රට 1505 සිට අල්ලගෙන සිටි ආක්‍රමණිකයන්ගේ එදා තිබුණ ආක්‍රමණශීලි ස්වභාවය වෙනත් විදියට භාවිතා කරමින් ආක්‍රමණ කරන්න පටන් අරන් තිබෙනවා. මෙවැනි අවස්ථාවලදි අපි පිට කොන්දක් ඇති ස්වාධීන ජාතියක් විදියට නැගී සිටින්නට ඕන. අපේ වසර දහස් ගණනක ඉතිහාස කතාව පිළිබඳව ඔබ දන්නවා. 1505 සිට 1948 දක්වා ආපු විදේශීය ආක්‍රමණිකයින් ගහලා පැන්නුවා. රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළා. ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු සිවිල් ජනතාව මෙන්ම රණවිරුවන් ජීවිත පරිත්‍යාග කළා. 1818 විමුක්ති අරගලය පිළිබඳව සුදු අධිරාජ්‍යවාදීන් මේ රටේ ලියකියවිලි වලට ඇතුළත් කරලා තිබුණේ 1810 කැරැල්ලේ කැරළිකරුවෝ කියලා. ඔවුන් කැරලිකරුවෝ නෙමේ. ඔවුන් එහෙම හැඳින්වීම වැරදියි. ඔවුන් ජාතික විමුක්ති සටන් අරගලයේ දේශප්‍රේමීන්. ඔවුන් එදා සිටි රණවිරුවන්. ඒ නිසා ඒ ශ්‍රේෂ්ඨත්වය හා ජාතික උරුමය පිළිබඳව අපි අපේ විග්‍රහයෙන් පිට වැඩකරන්න සූදානම් නැහැ කියන එක පැහැදිළිව සඳහන් කරන්නට ඕන.

අපි 1948 ට පෙර සුද්දන්ට යටත්වෙලා සිටි විදියට විදේශයන්ට යටත් වෙන්න සූදානම් නැහැ. අපිට ආර්ථිකය පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. ලෝකයේ රටවලින් අපි සම්පත් ලබාගන්න ඕන, දැනුම ලබාගන්න ඕන, තවත් බොහෝ දේ තිබෙනවා ලබාගත යුතු දේවල්. නමුත් රාජ්‍ය පාලනය සහ මේ රටේ නීතිය සහ අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ රටේ ජනතාවගේ අවශ්‍යතාවය පරිදි ජන කැමැත්තෙන් විනා අන් කිසිදු ආකාරයකින් අපි වෙනස් කරන්න සූදානම් නැහැ. ජිනීවා යවන්න සිටි පිරිස මම සම්පූර්ණයෙන්ම වෙනස් කළා. විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතාත්, මහින්ද සමරසිංහ මැතිතුමා, ආචාර්ය සරත් අමුණුගම මැතිතුමා, විදේශ කටයුතු ලේකම්වරයා, එතුමා කලින් නම්කරලා තිබුණ පිරිස අතර සිටියේ නැති කෙනෙක්. මම පත්කළ උතුරේ ආණ්ඩුකාරතුමා, ඒ නියෝජිත පිරිස මමයි යැව්වේ. තිලක් මාරපන මැතිතුමා මෙවර ජිනිීවා සමුළුවේ දී කරන ලද කතාව අපි ලියලා දුන්නා මෙන්න මේ කරුණුයි කතාකරන්න ඕන කියලා. ඒ කරුණු තමයි කිව්වේ. පුවත්පත්වල, මාධ්‍යවල, ලොකු අකුරෙන් දාලා තිබුණා හයිබි්‍රඞ් අධිකරණ පිළිගන්නේ නැති බව විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළා කියලා. ඒ කාරණාව දැම්මේ අපි සාකච්ඡා කරලයි. නැත්නම් මේ විදියේ කතාවක් නෙමේ කරන්න නියමිත වෙලා තිබුණේ. කලින් කරන්න තිබුණේ මීට වඩා වෙනස් කතාවක්. මේ රටේ ඇතැම් දේශපාලන අංශ ඒ කතාවටත් ජිනීවා වලදී විරෝධතාවය පළකරලා තිබුණා. යම් යම් සංශෝධන ඉදිරිපත් කළයුතුයි කියලා බලපෑම් කරලා තිබුණා.

නමුත් අපි මණ්ඩලයක් විදියට එකට එකතු වෙලා තමයි තිලක් මාරපන මහත්මයාට කතාව හදලා දුන්නේ. මෙන්න මේ කතාවේ තිබෙන කරුණුවලට පිට දෙයක් වෙන කියන්න එපා, ඒ ගේන හයිබි්‍රඞ් අධිකරණය පිළිගන්න නැහැ කියලත් ඒ කතාවට අපි ඇතුළත් කළා. මම මේවා කියන්නේ අපිට තිබෙන බාහිර, අභ්‍යන්තර බලපෑම්, දේශපාලන විෂමතා, මේ රටේ ජනතාව විවෘතව දැනගැනීමේ අවශ්‍යතාවය නිසයි. ඒ නිසා මම ඉතාමත්ම සතුටු වෙනවා මීගහතැන්න ඔබේ ගම්මානයට ඇවිල්ලා මේ පොලිස් ස්ථානය විවෘත කරන්න ලැබීම පිළිබඳව. මිත්‍රශීලි සේවාවක් විදියට පොලිසිය සේවය ඉටුකරන්නට මෙම ස්ථානයෙන් හැකියාව ලැබෙන බව මම විශ්වාස කරනවා. එය එසේම සිදුවිය යුතු බව ද මම සඳහන් කරන්න කැමතියි. පොලිසියේ නිලධාරීන් කියන්නේ ඉතාම දුක් විඳින පිරිසක්.

පොලීසියේ මේ යුනිෆෝම් එක යට ඉන්න 99.9% ක් ම අපි වගේ සාමාන්‍ය පවුල්වලින් ගොඩනැගිච්ච තරුණ පිරිස් සහ නිලධාරීන්. ඇතැම් වේලාවට ඔවුන්ගේ සේවයට ඇගයීමක් දෙන්නේ නැහැ. මහපාරේ ඔවුන් පැය 8ක් 12ක් සේවය කරනවා. කන්න නැහැ. වතුර නැහැ. ඔවුන් රෝගීන් වෙනවා. ඇතැම් වේලාවට ලොකු උගත් මහත්වරු පාරේ යනකොට මාර්ග වැරුද්දක් කරලා වාහනේ නැවැත්තුවොත් ඒකට අශෝබන වචනයක් කියාගෙන තමයි යන්නේ පොලිසීයේ සාමාන්‍ය මහ පාරේ හිටගෙන ඉන්න රාළහාමිලාටත් ඒ වගේ විභාගවලින් පාස් වෙච්ච උගත්කම්වලට වැඩිය උගත්කම එක්ක බුද්ධිය සහ යහපත් බව මනුස්සකම තමා සාජයට අවශ්‍ය වන්නේ. එය උගතුන්ට පිහිටන්නට ඕන. නමුත් සමහර විභාග පාස් කරපු අයට ඒ මානුෂිකත්වය නැහැ. ඒ බුද්ධිය නැහැ. මේ රටේ ලක්ෂ 16ක් රාජ්‍ය සේවයේ ඉන්නවා. ලක්ෂ 16 න් අසූපන්දහසක් විතර පොලිස් දෙපාර්තමේන්තුවේ. මේ රටේ යුද, නාවික, ත්‍රිවිධ හමුදාව ඉන්නවා ලක්ෂ 03ක් විතර. අපි දැන් ආරම්භ කරලා තියෙන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ අපි අලුත් පිටුවක් පෙරළනවා ලබන මාසයේ තුන්වෙනිදා. මුළු ජාතියම මුළු රටම දිවුරුම් දීමේ වැඩසටහනක් අපි හදලා තියෙනවා. දිවුරුම් දීම ප්‍රතිඥා වගේම මත්ද්‍ර්‍රව්‍ය වැටලීම්, මර්දනය සහ නිවාරණය පිළිබඳව ලබන තුන්වෙනිදා සිට අලුත් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබනවා. අපි අප්‍රේල් 3 උදේ 8.30 ට කොළඹ නිදහස් චතුරස්‍රයේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය, රේගු මීට අදාළ අනික් ආයතන, සුරාබදු දෙපාර්තමේන්තු, පාසල් දරුවෝ, රජයේ නිලධාරීන් ඒ ප්‍රතිඥාව දීම සඳහා අපි සංවිධානය කරලා තියෙනවා මුළු රටේම පාසල් දරුවෝ උදේ පාසලේ ඉදන් දිවුරුම් දෙන්න. මුලු රාජ්‍ය සේවයේ නිලධාරීන් සිය කාර්යාලයේ, කම්හලේ, ෆැක්ටරියේ සිට දිවුරුම් දෙන්න. මේ තුළ අපි බලාපොරොත්තු වෙන්නේ යහපත් සමාජයක් හදන එක. කැපවීමක් කරන්නට සියලු දෙනාම මේ වගකීම දෑතට ගත යුතුයි.

මං පෙර කී පරිදි 1505 සිට 1948 දක්වා විදේශීය ආක්‍රමණවලදී අපි මොනතරම් දුක්වින්දද මොනතරම් ජීවිත විනාශ වුණාද. මොනතරම් දේපළ විනාශ වුණාද වෙහෙර විහාර උදාගම් හා කෙත්වතු මිනිස් ජීවිත වයස 16න් ඉහළ සෑම පිරිමි කෙනෙක්ම මරණ ලෙස එදා සුදු අධිරාජ්‍යවාදීන් නියෝග කරලා තිබුණා. ඒ විදියට තමයි ඒ යුගය ගත වුණේ. ඉන්පසු වසර 30 කට ආසන්න එල්.ටී.ටී.ඊ මිලේච්ජ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය ඒ විදේශීය ආක්‍රමණවලට මුහුණ දීමෙන් රටට වෙච්ච හානිය ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයෙන් රටට වෙච්ච හානිය ඊටත් වඩා හානියක් මේ රටේ බරපතල ලෙස නීති විරෝධි මත්ද්‍රව්‍ය නිසා සිදුවෙමින් යනවා කියන එක අමතක කරන්නට එපා.

අද පාසල් දරුවෝ මේවාට බිලිවෙලා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ මේවාට බිලිවෙලා. නොයෙකුත් වගකිව යුතු තනතුරුවල ඉන්න අය මේවට බිලිවෙලා. මේක බරපතළ ව්‍යසනයක්. ජාතික ඛේදවාචකයක්. ඒ නිසා තමයි වන්දනීය පූජනීය මහා සංඝරත්නය අනෙකුත් පූජකතුමන්ලා උන්වහන්සේලාගේ උපදෙස් අනුශාසනා සමඟ මේ මත්ද්‍රව්‍ය මර්දනය පාලනය සහ නිවාරණය කියන ජාතික වැඩනටහන ගෙනියන්නේ. මේක ලේසි පහසු තත්ත්වයක් නොවේ. අද මාලදිවයින වගේ රටක් ගත්තහම අද මාලදිවයිනත් ගොඩගන්න පුළුවන්කමක් නැති තත්ත්වයට පත්වෙලා තියෙනවා මත්ද්‍රව්‍ය නිසා. මාලදිවයිනේ සිටින පුරවැසියන්ගෙන් 40% ක වගේ ප්‍රමාණයක් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවයි කියන තොරතුරු අපිට තියෙනවා. පිලිපීනය වගේ රටක පිලිපීන ජනාධිපතිතුමාට සිද්ධ වුණා 28000 ක් ගමේ භාෂාවෙන් කියනවනම් ජීවිත අහිමි කරලා මත්ද්‍රව්‍ය මර්දනය කරන්න. පිලිපීනයේ ඒ විශේෂයෙන්ම ආණ්ඩුව තීරණය ගත්තේ මත්ද්‍රව්‍ය විකුණන අයට විතරක් නෙවෙයි. බෙදාහරින අයට විතරක් නෙවෙයි. විකිණීම, බෙදාහැරීම වගේම කොහේහරි තැනක මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවානම්, උරනවානම් එයාට එතනම වෙඩි පහරක් එල්ල කරනවා. ඒ විදියට තමයි පිලිපීනය මර්දනය කරේ. අපි ලෝකයේ වෙනත් රටවල්වල මත්ද්‍රව්‍ය මර්දනය සහ පාලනය පිළිබඳව කෙරෙන ක්‍රමෝපායන් පිළිබඳව අධ්‍යනය කරා. අපේ මේ පොලිසීයේ නාකොටික් අංශවල එස්.ටී.එෆ් ඒ වගේම ත්‍රිවිධ හමුදාව කස්ටම් ඒ ආයතන මේ වැටලීම් මේ වනවිට සාර්ථකව කරන්නේ කිසිම නව තාක්ෂණයක් හෝ උපකරණයක් නොමැතිවයි.

ලෝකයේ සෑම රටකම මේ මත්ද්‍රව්‍ය මර්දනයට අධි තාක්ෂණික උපකරණ තිබෙනවා. නමුත් මේ රටේ පොලිසීය භාරව හිටපු අය පහුගිය අවුරුදු තිහක් තිස්පහක් මේ නව තාක්ෂණික උපකරණ නිලධාරීන්ට දිලා තිබුණනම් මේතරම් මත්ද්‍රව්‍ය මේ රටේ ව්‍යාප්ත වෙන්නේ නැහැ. මං මේ මාස තුනහමාරට අධි තාක්ෂණික උපකරණ ගේන්න මේ වනවිටත් කටයුතු කරලා තිබෙනවා. මං විශ්වාස කරනවා ඉදිරි මාසයක් එකමාරක් ඇතුලත ඒ අධි තාක්ෂණික උපකරණ අපිට ගේන්න පුළුවන්. ඒ අධි තාක්ෂණික උපකරණ ගෙනල්ලා සවි කරපුවහම මං ඒවා අධ්‍යනය කළා. මුහුදෙන් රට ඇතුලට එන ඒවා. රටේ කොහේ තිබුණත් ඒ අධි තාක්ෂණික උපකරණ වැඩ කරන්න පටන්ගන්නවා. ඒවා දැනුම් දෙන්න පටන් ගන්නවා. මෙන්න අහවල් තැන අහවල් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය තියනවා කියලා. ඒ නිසා මේ අධි තාක්ෂණික උපකරණ පහුගිය අවුරුදු විසිපහක් තිහක් අපේ මේ නිලධාරීන්ට ලබානොදුන්නු එකත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ අවශ්‍යතාවයක් ඉෂ්ට කිරීමයි. ඒක මං කියන්නට ඕන. පොලීසිය භාරව හිටපු දේශපාලඥයෝ පොලීසියට ගිහිල්ලා සැලියුට් එක ගහගත්ත එක තමයි කරලා තියෙන්නේ. කරන්න ඕන වැඬේ නෙමෙයි කරලා තියෙන්නේ. වෙන වැඩ කරලා තියෙන්නේ. ඒ නිසා පොලීසියට අවශ්‍ය සම්පත් දෙන්න ඕන. රජයේ නිලධාරීන්ට අවශ්‍ය සම්පත් දෙන්න ඕන. නැතුව තමන්ගේ සේවාවන් කරන්න පුළුවන් කමක් නැහැ. දැන් පොලීසිය මම භාර අරගෙන පහුගිය මාසයේ පොලීසිය නිලධාරී ජ්‍යෙෂ්ඨ නිලධාරී මහත්වරුත් එක්ක තිබ්බ ප්‍රගති සමාලෝචනයේදී මම දැනගත්තා පොලිසියේ ස්ථාන 30ක් තියෙනවා එකම වාහනයක්වත් නැහැ. පොලිස් ස්ථාන 30ක් එකම වාහනයක්වත් නැහැ කියන්නේ වැඩ කරන්න පුළුවන් ද? එතකොට ඇයි හොයලා බැලුවේ නැත්තේ මං ඒ වේලාවේම කිව්වා මිල ගණන් කැඳවලා පොලිස්පතිතුමාට වාහන ගන්නයි කියලා. මං දන්නේ නැහැ මේ වනවිට අරන්ද කියලා. ටෙන්ඩර් කැඳවීම් නෙමෙයි මිල ගණන් කැඳවීම් සුමානෙන් පුළුවන් ගන්න. ඒක නිසා මම කිව්වා ඒ ආයතන 30ට වාහන 30ක් අරගෙන දෙන්න මිල ගණන් කැඳවලා අලුතෙන් වාහන ගෙනකම් ඉන්න අවශ්‍යතාවයක් නැහැ කියලා. ඉතින් මේ වගේ ප්‍රශ්නත් තිබෙනවා. ඒ නිසා ආර්ථික ප්‍රශ්න දේශපාලන ප්‍රශ්න සමාජ ප්‍රශ්න මේ සියල්ලත් එක්ක දෙමව්පියනි දරුවනි හිතවතුනි මිත්‍රවරුනි අපිට තිබෙන අභියෝග තේරුම් අරගෙන අපි හෙට දවස වෙනුවෙන් හොඳ රටක් හදන්න අද ජීවත්වන ජනතාවට වගේම හෙට උපදින දරුවන්ට වාසනාවන්ත රටක් හදන්න අපි සියලු දෙනාම කැපවෙමුයි කියන ගෞරවනීය ඉල්ලීම කරමින් ඔබ සියලු දෙනාට මගේ ස්තූතිය පුද කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here